“බෙස්ට් ලයිෆ් වන්දනා” සමඟ බුදුන් වැඩිය මඟ පියමැන්නෙමි.

This slideshow requires JavaScript.

බස් රථයේ දී සහ ගුවන් යානයේ දී අපි.

 

ඔක්තෝම්බර් මස 17 වන දින පාන්දර 1.45 ට අපි “බෙස්ට් ලයිෆ් වන්දනා ආයතනය” ට පැමිණියෙමු. “බෙස්ට් ලයිෆ් ආයතනයේ” නම භාවිතා කිරීම පිළිබඳව මුලින්ම සමාව යදිමි. ඒ උදාර මෙහෙවරක් කරන ආයතනයේ නම භාවිතා නොකර මේ ලිපිය කෙසේ නම් ලියන්නද?

ගමනට සහභාගී වූයේ,මමත්,මගේ ලොකු අම්මාගේ දුව වන වර්ණා අක්කා, එයාගේ පොඩි පුතා සඳරු, මගේ කල්‍යාණ මිතුරිය ඩයස් අක්කා, අදිකාරී මිස් හා ලක්ෂ්මි මිස් යන අපේ කණ්ඩායමයි. ඒ වනවිටත් නඩයේ කිහිප දෙනෙක් පැමිණ සිටිය බව දුටුවෙමු. පැය එකහමාරකට පමණ පසුව අප ලියකියවිලි ආදී කටයුතු ඉවර විය. ඊට පසුව අපව චින්තන මහතා විසින් දැනුවත් කරන ලදී. ඊට පසුව උදෑසන බිස්කට් හා කෙසෙල් ගෙඩි සමග තේ පානය කලෙමු. පංච ශීලය සමාදන් වීමෙන් පසුව අජිත් මහතා සහ කීර්ති මහතා විසින් වන්දනා ගමන පිළිබදව පූර්ණ දැනුවත් කිරීමක් කරන ලදී. ඔවුන් දෙදෙනා අප නඩයේ කළමණාකර වරුන්ය. ඉතාම නිහතමානීව ඒ දැනුවත් කිරීම කරන ලදී. මෙම වන්දනා ගමණ සාර්ථක කර ගැනීමට අපේ සහාය ඉතාම අවශ්‍යය බවත් ගෙවල් දොරවල් අත්හැර මේ චාරිකාවේදී ඉතාම සිහියෙන් කටයුතුකර පින් රැස්කර ගන්නා ලෙසත් අපව දැනුවත් කලා. ඉතාම දුර්ලබ භාග්‍යයක් ලැබූ මේ අවස්තාවේ එයින් උපරීම ඵල නෙලා ගැනීමට අධිශ්ඨාන කරගන්නා මෙන් අපෙන් ඉල්ලා සිටියා. උදෑසන 4.30ට අප බෙස්ට් ලයිෆ් ආයතනයෙන් ගුවන් තොටුපල බලා පිටත් වුණි. 7.30 පමණ වෙනවිට අපි ගුවන්තොටුපලට පැමිණියෙමු. ගුවන් තොටුපලට පැමිණියේ ධාරානිපාත වර්ශාව මධ්‍යයයේය.

විදෙස් මුදල් ආදිය මාරුකර ගැනීමෙන් පසුව අප පිටත් වීමට සූදානම් වුණි. අප නඩයේ කිහිප දෙනෙක් රත්නපුර ප්‍රදේශයේ ගිලීමලේ සිරිපාගමින් පැමිණි අය බව දැනගත්තෙමි. අප නඩයේ සිටියේ වයසින් වැඩිමහළු අම්මලා තාත්තලා මෙන්ම සම වයසේ කිහිප දෙනෙක් හා දුවක් හා පුතෙකි. මේ අතර තම මහළු මව ඇවිදීමට නොහැකිව රෝද පුටුවේ සිටියදී වන්දනාවේ රැගෙන ගිය උදාර පුතෙකු ද අප සමඟ සිටිනු දැකීම මහත්වූ භාග්‍යක් කොට සලකමි. උදෑසන 10.30 ට අප වරණාසි බලා පිටත් වුනෙමු. මිහින්ලංකා ගුවන් සේවයෙන් වරණාසි ගමනට පැය තුනහමාරක් ගතවුණි.

ලෝකයේ නොයෙක් රටවල ඇවිදගිය මට මේ ලැබූ භාග්‍යය කෙසේ නම් මිල කරන්න ද? මුලින්ම මා හැදූවැඩූ දෙමාපියන්ටත් මාගේ ආදරණිය මහත්තයාටත් ඉත සිතින්ම මේ සියළුම පින් අනුමෝදන් කරමි. ඔවුන්ගේ දිරිගැන්වීම හා ආධාර උපකාර නොවන්නට මා මේ ගමන කිසිදා නො එනු ඇත. අද සිට දිග හැරෙන්නේ ඒ අසිරිමත් ගමනේ විස්තරයයි. ඔබ මේ සටහන් ඉතාම ඕනෑකමින් කියවන්න. ශ්‍රද්ධාවෙන්ම කියවන්න. රස විදින්න. බුදු පිරිසේ අසිරියේ ආශ්චර්‍යය ඉත සිතින්ම විඳ ගන්න.

අප වරණාසි ලාල් බහදූරි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේ දහවල් 2.05ටය. උශ්ණතවය 33°c. මද සිරිපොද වැස්සේම අපි අපේ බසයට ගොඩවැදුනෙමු. රසවත් බත්වේලක් අපට බසයේ දීම ලැබුණි. මිශ්‍ර එළවළුවක් , පරිප්පු, කරවිල සම්බලයක් හා වම්බටු මාළුවක් එහි විය. කිලෝ මීටර් 30ක් හෝටලයට යන අතරමග සම්මුඛ චෛත්‍යය හමුවේ. වරුණ හා අසී ගංගා දෙකට මැදුවූ නගරය වරණාසි නම් වේ. හෝටලයට එන විට සවස 5.30ට පමණ විය. ශිවම් ගෙස්ට් අපගේ පළමුවන නවාතැනයි. රාත්‍රී යට සාම්බාරු හොද්දක්, ගෝවා මැල්ලුමක් රසවත් ළුනු සම්බලයක් , පපඩම් සමඟින් බත් කා නින්දට වැටුනෙමු.

මේ පළමුවටම අප වන්දනා කළ ඒ සම්මුඛ චෛත්‍යයයේ කතාවයි……..

අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට එළැඹීමෙන් පසුව සති හතක්ම එම නේරංජරා ගඟ අසබඩ රමණීය වන ලැහැබෙහි ම කල් ගත කළ සේක. බුද්ධත්වය ලැබීමත් සමඟ ම ලද ලොවුතුරු නුවණ පිළිබඳ ව නැවත නැවත සලකා බලමින් මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ සති හතක් කල් ගෙවූ සේක.

එහි දී භාග්‍යවතුන් වහන්සේ අජපාල නම් වූ නුග රුක් මූලයේ හුදෙකලාව ම වැඩ සිටින විට, තමන් වහන්සේ අවබෝධ කළ ශ්‍රී සද්ධර්මයේ පරම ගම්භීර භාවය හේතු කරගෙන භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතුවිල්ලක් පහළ වුණා “මා විසින් අවබෝධ කරන ලද මෙම ධර්මය ගම්භීර යි. දකින්නට දුෂ්කර යි. අවබෝධ කරන්නට දුෂ්කර යි. ශාන්ත යි. ප්‍රණීත යි. තර්කයෙන් දැකිය නො හැකි යි. ඉතා සියුම්. පණ්ඩිතයන් විසින් ම අවබෝධ කළ යුතු යි. මේ මිනිසුන් ආලය ආරාම කරගෙන (නිවෙස කරගෙන) යි වාසය කරන්නේ. ආලයට ම යි ඇලී සිටින්නේ. ආලයෙන් ම යි සතුටු වෙන්නේ. ආලය තුළ වාසය කරන, ආලයට ඇලී සිටින, ආලයෙන් සතුටු වෙන මිනිසුන්ට මේ දෙය දකින්නට දුෂ්කර යි. එනම් යම් මේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදයක් තිබෙනවා ද එය යි. එසේ ම මේ දෙයත් දකින්නට ඉතා ම දුෂ්කර යි. එනම් යම් මේ සියලු සංස්කාරයන් ගේ සංසිඳීමක් වේ ද, සියලු උපධීන් අත්හැර දැමීමක් වේ ද, තණ්හාව ක්ෂය කර දැමීමක් වේ ද, විරාගය වූ නිරෝධය වූ ඒ නිවන යි. ඉදින් මම ධර්මය දේශනා කරනවා නම්, එවිට අන් අය මා දේශනා කරන ධර්මය අවබෝධ කර නොගන්නවා නම්, එය මට ක්ලාන්තයක්. එය මට වෙහෙසක්.”
ඒ විදියට කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේට ඉතා ආශ්චර්යවත් වූ පෙර නො ඇසූ විරූ මේ ගාථා ධර්මයන් වැටහුනා..
“මා විසින් දුක සේ අවබෝධ කළ මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමෙන් පළක් නැහැ.රාග ද්වේශයන්ට ගැති වූ මිනිසුන්ට මේ ධර්මය හොඳින් අවබෝධ කරන්නට බැහැ.”
“උඩුගංබලා යන්නා වූ නිපුණ වූ ගම්භීර වූ දකින්නට දුෂ්කර වූ ඉතා සියුම් වූ මේ ධර්මය රාගයෙන් රක්ත වූ මෝහාන්ධකාරයෙන් වැසී සිටින සත්වයෝ දකින්නේ නැහැ.”
ඒ විදියට කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේ ගේ සිත ධර්ම දේශනා කිරීමට නැමුණේ නැහැ. ඉතින් සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ ගේ සිතිවිල්ල දැනගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දම් දෙසීම පිණිස ආරාධනා කරනු ලැබුවා. එය ධර්මතාවයක් ලෙස ම සිදු වන දෙයක්. ඒ අවස්ථාවේ දී තමයි අප ගේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මරාජයාගේ ආරාධනාව සහ ලෝ වැසියන් කෙරෙහි ඇති මහත්වූ කරුණාව මුල් කොට ගෙන බුදු ඇසින් ලෝකය බලා වදාරනු ලැබුවේ. එවිට භාග්‍යවතුන් වහන්සේ ලෝකය දුටුවේ පියුම් විලක් පරිද්දෙනුයි. සමහර පියුම් මඩ ගොහොරුවේ එරී තුබුනා, සමහර පියුම් යන්තම් හිස ඔසවා නැගී සිටියා, තවත් සමහර පියුම් පිපී සුවඳ විහිදුවීමට තරම් භාග්‍ය ඇති පියුමන් වැනි මිනිසුන් දුටු භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීමට තිරීණය කොට සහම්පති බ්‍රහ්මරාජයාට මෙසේ සොඳුරු ගාථා ධර්මයක් වදාළා.

“ඔවුනට අමා දොර විවර කරන ලදි. කණ් ඇත්තෝ සැදැහැ මුදත්වා. බ්‍රහ්මය, වෙහෙසක් ය යන හැඟීමෙන්, ප්‍රගුණ වූ ධර්මය නො කීවෙමි.”

සහම්පති බ්‍රහ්මරාජයාගේ නික්ම යෑමෙන් පසු මුලින් ම දහම් දෙසිය යුත්තේ කවරෙකුට ද කියා භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා. එවිට භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වූයේ ආළාර කාලාම සහ උද්දකරාම පුත්ත යන තමන් ගේ බෝසත් අවදියේ ගුරුවරුන් ව සිටි අයව යි. නමුත් ධර්මය අවබෝධ කරන්නට තරම් භාග්‍යයක් ඇතිව මනුලොව උපතලැබුව ද ආළාර කාලාම දින හතකට කලිනුත්, උද්දකරාම පුත්ත පෙරදා රාත්‍රියේ ත් කලුරිය කළ බව භාග්‍යවතුන් වහන්සේ දැන ගත්තා.
ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වූයේ බෝසත් අවධියේ දී තමන් වහන්සේට ඉතා උපකාර කළ පඤ්චවග්ගීය භික්ෂූන් වහන්සේලායි. උන්වහන්සේලාට මුලින් ම ධර්මය දේශනා කරන්නට භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා. ඉන්පසු දිවැසින් ඔවුන් සිටින්නේ කොහිද කියා විමසා බැලූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේ පස්වග භික්ෂූන් වහන්සේලා බරණැස් නුවර ඉසිපතන මිගදායේ සිටින බව යි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වේ කැමති තාක් කාලයක් වැඩ හිද බරණැස් නුවර බලා පා ගමනින් ම පිටත් ව වැඩියා.
ගයාවත් බෝධි මූලයත් අතර වූ දීර්ඝ මාර්ගයේ වඩින භාග්‍යවතුන් වහන්සේව උපක නම් ආජීවකයා දුටුවා. ඉතා පිරිසිදු බබළන ශරීර වර්ණයකින් යුතුව ගමන් කරන භාග්‍යවතුන් වහන්සේව දුටු උපක බුදු රජුන් ගේ ගුරුවරයා කවුද යන වග විමසා සිටියා.

එවිට භාග්‍යවතුන් වහන්සේ ඉතා ම අසිරිමත් මේ ගාථා ධර්මයන් වදාළා.
“මම සියල්ල අභිභවා සිටින්නෙමි. සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්මයන් හි නො ඇලුනෙමි. සියල්ල අත් හැර සිටිමි. තණ්හාව ක්ෂය වීම නම් වූ නිවනෙහි විමුක්තියට පත් ව සිටිමි. මා විසින් ම විශේෂ ඤාණයෙන් සියල්ල අවබෝධ කරගත් මම කවරෙක් ආචාර්යවරයා වශයෙන් ගන්නෙම් ද.?”
“මට ගුරුවරයෙක් නැත. මා හට සම අයෙක් ද විද්‍යාමාන නැත. දෙවියන් සහිත ලෝකයේ මා හට සම පුද්ගලයෙක් නැත්තේ ය.”
“මම ලෝකයෙහි රහත් වෙමි. මම අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ වෙමි. ලොව එක් ම සම්මා සම්බුද්ධ වෙමි. සිසිල්භාවයට පත්ව නිවුනෙම් වෙමි.”
“ධර්ම චක්‍රය පැවැත්වීමට කසීරට බරණැස් පුරය බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි අමාදම් බෙරය වයන්නෙමි.”
එවිට උපක භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියේ, ඔබ වහන්සේ පවසන ආකාරයට ඔබ වහන්සේ අනන්තජින වීමට සුදුසු බව යි.
එවිට භාග්‍යවතුන් වහන්සේ උපක අමතා මෙසේ වදාළා.
“යමෙක් ආශ්‍රව ක්ෂය කිරීමට පත්වූයේ ද, මා වැනි ඔවුන් ඒකාන්තයෙන්ම ජින නම් වෙති. උපක, මා විසින් පාපයෝ දිනන ලදි. එනිසා මම ‘ජින’නම් වෙමි.”
උපක අමතා එසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙලින් චාරිකාවේ වඩිමින් බරණැස් නුවර ඉසිපතන මිගදායට වැඩම කොට වදාළා. පස්වග භික්ෂූන් වහන්සේලා දුර දීම තමන් වෙත වඩින භාග්‍යවතුන් වහන්සේව දුටුවා. දැක කතිකා කරගත්තේ, භාග්‍යවතුන් වහන්සේට වන්දනා මාන නොකොට, උපස්ථාන නො කොට, පාත්‍ර සිවුරු පිළි නො ගෙන සිටීමට යි. නමුත් කැමැති නම් හිඳ ගැනීම පිණිස ආසනයක් දිය යුතු බව ද කතිකා කරගත්තා.

කතිකාව එසේ වුවත් භාග්‍යවතුන් වහන්සේ වඩින විට එම කතිකාවතේ පිහිටා සිටින්නට ඔවුන්ට නො හැකි වුණා. පෙරගමන් කොට එක් අයෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. එක් අයෙක් ආසන පැනෙව්වා. එක් අයෙක් පා සෝදන දිය ආදිය පිළිගන්වා තැබුවා. මුලදී පස්වග භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ යැයි පිළිගන්නට කැමති වූයේ නැහැ. නමුත් කරුණු තේරුම් කර දීමෙන් පසු ඒ බව පිළිගන්නට ඔවුන් කැමති වුණා.

එදා ඒ පස්වග තවුසන් වහන්සේලා පෙරගමන් කොට භාග්‍යවතුන් වහන්සේව මුණ ගැසුනු ස්ථානයේ ධර්මාශෝක රජු ස්ථූපයක් ඉදි කරනු ලැබුවා. එම ස්ථූපය හැදින්වෙන්නේ සම්මුඛ චෛත්‍යය යන නමිනුයි. එය පසුකාලීනව මෝගල් වරුන් ගේ ආක්‍රමණ නිසා විනාශ වී ගොස් ආකෘතිය පවා වෙනස් වී තිබෙන නමුත්, අදටත් භාග්‍යවතුන් වහන්සේට පස්වග භික්ෂූන් මුණ ගැසුනු ඒ උතුම් ස්ථානය හදුනා ගැනීම පිණිස මෙම සෑය උපකාර වනවා. වරණාසි උත්තර ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි. බුද්ධගයාවේ (බිහාර ප්‍රාන්තයේ) සිට වරණාසි දක්වා කිලෝ මීටර් 247ක් දුර බුදුන් වහන්සේ පාගමණින් පස්වග මහණුන් හමුවීම සඳහා වැඩම කර ඇත.

සම්මුඛ චෛත්‍යය – බරණැස් නුවර සම්මුඛ චෛත්‍යය හෙවත් චෞකණ්ඩි චෛත්‍යය නම් මෙය ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ බරණැස පුරවරයේ පිහිටා ඇත. මෙම චෛත්‍යය ‘චෞකණ්ඩි’නම් රජකු විසින් කරවන ලදැයි ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේට පස්වග තවුසන් මුණගැසුණ ස්ථානයේ මෙය ඉදිකළ නිසා මෙය ‘සම්මුඛ චෛත්‍යය’ යැයි නම් කර ඇත. මෙම චෛත්‍යය මුදුන, අටපට්ටම් හැඩයෙන් යුක්ත ය. එම කොටස කරවන ලද්දේ ගුප්ත වංශික රජකු වූ චන්ද්‍ර ගුප්ත විසින් යැයි මතයක් ඇත. එහි මුදුනේ විශාල වලක් ඇති අතර එය දැලකින් ආවරණය කර ඇත. මෝගල් ආක්‍රමණිකයන් විසින් මෙම වලේ තිබුණු නිදන් වස්තු පැහැරගත් බව කියැවෙයි. මෙහි මුදුනට නැගීමට පියගැට පෙළක් ද තනවා ඇත.

අන්‍ය ආගමිකයන් මෙන්ම සමහර ලාංකික වන්දනා නඩ මෙහෙයවන්නන්ගේ මෙහෙයවීම අනුව මෙම චෛත්‍යයට සමහර අය නගින බව කියවුනා. සම්මා සම්බුදු පහස ලැබූ මෙවන් පුද බිම් වැදීමේදී ඔබ නුවනින් කල්පනා කර බලා කටයුතු කරන්න. ධාතූ නිදන්කල ස්ථාන පෑගීම බෞද්ධ අපිට සුදුසු නොවේ. ඔබ කිසි දිනෙක එය නොකරන්නට වග බලා ගන්න.

 

Advertisements