බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා 3 – ඉසිපතනේ මිගදායේ ඔබට තවත් තොරතුරු බිඳක නිමාව.

කසී රට මඟුල් බෙරය වැයූ ඉසිපතන මිගදායේ දාන සීල සමාධි ගුණ දම් පුරමින් දවස නිමා කල අයුරු ඔබට සෙනෙහසින් පුදමි.
Image

දඹදිව බුදුසමය ආලෝකවත් කළ සිංහල වීරයා —-   අනගාරික ධර්මපාල  තුමා
 
මිගදායේ ඇසල සදේ රැස් විහිදෙනවා
මුවපොව්වන් නෙත් විදහා බලා සිටිනවා
ගස් වැල්වල මල් පිපිලා සුවඳ හමනවා
යළිත් වරක් තුන් ලෝකෙට දහම් ඇසෙනවා
 
අහස් තලේ දෙව් විමනේ දෙවියෝ එනවා
බරණැස ඉසිපතනේ දැන් එළි විහිදෙනවා
නමස්කාර දී දෙවියන් දහම් අසනවා
යලිත් වරක් තුන් ලෝකෙට නිවන ලැබෙනවා
 
මිග්දායේ ගස් අතරේ රෑ සඳ පානේ
පස්වග තවුසන් සිටියා ඒ එළිමහනේ
සමිඳුගෙ මුවඟින් එන බණ පදයක් ගානේ
අසා සිටිනු හැර ලොව වෙන සැපතක් නෑනේ
 
බෝධිසත්ව ගුණෝපේත අනගාරික චරිතයෙන් බිඳක් නොලියා ලියන සටහන කුමකට දැයි මට සිතේ. ඔබ එතුමා ගැන දැනගත යුතුමය.
 
අද අපිට වැදපුදා ගන්නට ඉන්දියාවේ මේ පින් බිම් ඉතිරි වූයේ එතුමාට පින් අත්වෙන්නටයි. එ පමණක් නොවෙයි ඉන්දියාවට ද බෞද්ධ ඉතිහාසයක නටඹුන් ඉතිරිවී තිබෙන්නේ මෙ තුමා ගේ අප්‍රහිත ධෛර්‍යය නිසාය.
මේ අතර තව කිහිප දෙනෙකුටම පින් පෙත් දිය යුතුයි. ඒ ඉංග්‍රීසි ජාතික පුරා විද්යාඥ ජෙනරාල් කනිංහැම් තුමා, චීන ජාතික හියුං සාන් භික්ෂූණ් වහන්සේ, පාහියන් තුමා වැනි දේශාඨනයේ යෙදුන භික්ෂූන් වහන්සේලා ද, කේ.එම්. ශ්‍රී වාස්තව වැනි ඉන්දීය පුරා විද්‍යාඥයින් ට ද අප පින් පෙත් දිය යුතු යැයි මට සිතේ. ඒ මන්ද ඔවුන් නොවන්නට අපට වඳින්නට පුදන්නට දෙයක් ඉතිරි නොවනු ඇත. අද ඉන්දීය රජය මහා උජාරුවට බෝඩ් ගසා මේ පුද බිම් වල අයිතිය සංරක්ෂණය කලත් මේ උදාර පුද්ගලයන් නොවන්නට අපට ඉතිරි වන්නේ වල් බිහි වී ගිය කැලෑවන් ය.
බෞද්ධයෙක්‌, බෞද්ධ භික්‍ෂුවක්‌ නැති තරමටම දඹදිව බුදුසසුන අසරණ වී වසර අට සියයකට පසුව 1891 දී ලංකාවේ ධනවත් පවුලක උපත ලැබූ එවක දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් හැඳින් වූ බෞද්ධ තරුණයා දඹදිව වන්දනාව සඳහා පැමිණියේය.
 
එඩ්වින් ආර්නෝල්ඩ් ලියූ ‘ආසියාවේ ආලෝකය’ කියවා ඇමරිකන් ජාතික හෙන්රි ඕල්කට්‌ මැතිතුමා දඹදිව බෞද්ධ සිද්ධස්‌ථාන දැක ශ්‍රී ලංකාවේ කළ දේශන අසා කම්පාවට පත්ව ඔහු දඹදිව වන්දනාවට මුලින්ම පැමිණ ඇත්තේ බරණැස ඉසිපතන මිගදායටය.

 

බරණැස දුම්රියෙන් බැස මහායටිගාලින් යන විට ගල්කණු  පිරුණු කරත්ත දහයක්‌ බරණැස නගරය පැත්තට යන ආකාරයත් හිස්‌ කරත්ත කීපයක්‌ නගරයෙන් ඉසිපතනයට එන ආකාරයත් හේවාවිතාරණ තරුණයා දුටුවේය. ඔහු ඒ කරත්තකරුවන්ගෙන් මේ ගැන විමසූවිට ඔවුන් පවසා ඇත්තේ තම තමන් ගෙවල්වල අත්තිවාරම් දැමීම සඳහා මේ ගල් ගෙන යන බවයි. කරත්තවලට සමීපව බලන විට දකින්නට ලැබී ඇත්තේ විහාරයේ කැටයම් කණු සහ පිළිම වහන්සේලාගේ කඩා බිඳ දැමූ කොටස්‌ය. ඉසිපතනයට ළඟාවන විට රාත්‍රි වූ නිසා දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා පළමු රැය ගතකර ඇත්තේ වර්තමාන ජෛන පන්සල අසල තිබුණු නුග ගසක බෙනයක ය.
Image
මහා වනාන්තරයෙන් යටව තිබුණ ඉසිපතන මිගදායේ දකින්නට තිබුණේ ධම්මික ස්‌තූපය පමණි.
 
ලෝකයට ධර්ම චක්‍ෂුෂය, ඤාණ චක්‍ෂුෂය. විද්‍යා චක්‍ෂුෂය පහළ වූ මේ  මහා පිංබිමේ දකින්නට ලැබුණු දුක්‌බර කනගාටු අනුවේදනීය ආකාරය දැක කම්පාවට පත් වී දෙවැනි ගමන පැමිණ ඇත්තේ සිදුහත් මහබෝසතාණන් වහන්සේ  බුද්ධත්වය අවබෝධ කරගත් බුද්ධගයා පිං  බිමටයි.
 
බුද්ධගයාවේ දකින්නට ලැබුණේ ඊටත් වඩා වේදනා සහගත දර්ශනයකි. ක්‍රිෂ්ණ දයාල්ගිරි මහන්තා විසින් බුද්ධගයා මහා විහාරය, වජ්‍රාසනය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අත්පත් කරගෙන වජ්‍රාසනය මත වැඩසිටින පිළිම වහන්සේට රතු රෙදි අන්දවා පොට්‌ටු තබා කඩුක්‌කන් පළඳවා හින්දු දේවතාවකු හැටියට පුද පූජාකළ අතර හින්දු ආගමිකයන්ට හැර වෙන කිසිවකුට එහි ඇතුල්වීම පවා තදින්ම තහනම් කර තිබිණි. දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාට ඇති වූ වේදනාව අසීමිතය.
 

කෙසේ හෝ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ අබියසට ගොස්‌ සතිපට්‌ඨාන සූත්‍ර දේශනාව දේශනාකර අධිෂ්ඨාන කර ඇත්තේ මගේ ධනය මගේ ශ්‍රමය, මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම  බුද්ධගයාව  ඇතුළු දඹදිව සියලුම සිද්ධස්‌ථාන  මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් මුදවාගෙන ලෝක බොද්ධයන්ට නිදහසේ වැඳීම පිදීම පිණිස නිදහස්‌ කරගන්නා බවයි.  

1891 දී එවකට කොළඹ විෙද්‍යාදය පරිවේණාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ‘බුද්ධගයා මහාබෝධි සමාගම ‘ආරම්භ කරන්නට යෙදුණි.

 
ඉන්පසුව ශ්‍රී ලංකාවෙන් භික්‍ෂුන් කීපනමක්‌ එක්‌කරගෙන ගොස්‌ බුද්ධගයාවේ නතර කර තම සටන ආරම්භ කරන්නට හේවාවිතාරණ තරුණයා කටයුතු කළේය.
 Image
එතුමාගේ සටන් පාඨය වූයේ “සිංහලයිනි නැඟිටිව් බුද්ධගයාව බේරාගනිව්” යන්නයි. එතැන් පටන් මුළු ලෝකයේම සංචාරය කරමින් තම සටන සාර්ථක කර ගැනීම සඳහා දිවා රාත්‍රි වෙහෙස වී ඔහු කටයුතු කළේය.  මහන්තා සහ මහන්තාගේ මැරපිරිස බ්‍රිතාන්‍ය පාලක පිරිස, සමහර සිංහල නායකයන්, භික්‍ෂුන් යන විවිධ වර්ගයේ මහා සතුරන් මැද ධර්මපාලතුමා එදා කළ සටන අද්විතීය ය.  පූජා කිරීම, භාවනා කිරීම, බුදුන් වැඳීම ධර්මපාලතුමා ක්‍රමානුකූලව සිදු කළ කෙනෙකි. එතුමාගේ ධර්මදූත සේවය ආගම ප්‍රචාරය කිරීම සඳහා පමණක්‌ නොව දඹදිව දුප්පත් දුගී දරුවන්ට කෙස්‌ කැපීම, දත් පිරිසිදු කිරිම, නියපොතු පිරිසිදුව තබා ගැනීම, පිරිසිදුව ඇඳුම් ඇඳීම වැනි කටයුතු ගැන සිතා ළමුන් පස්‌දෙනකුගෙන් බරණැස ඉසිපතනයේ පුංචි පාසලක්‌ ආරම්භ කර මුළු පළාතේම දුප්පත් දරුවන්ට ඉගැන්වීමට කටයුතු ද ධර්මපාලතුමා සූදානම් කළේය.
 
එමෙන්ම බුද්ධගයාවේ ද පාසල් පුණ්‍ය බෙහෙත් ශාලා ආදිය බොහෝ සෙයින් ආරම්භ කරන්නට කටයුතු යොදන ලදී. ලෝකවාසී ජනතාවට සේවය කිරීම එතුමාගේ උදාර අරමුණුවලින් එකකි.  බුද්ධගයා මහා විහාරය අද මුළුලෝකයාම වැඳපුදා ගන්නේ ධර්මපාලතුමාට පිං සිද්ධවන්නටය.   බුද්ධගයාවට පමණක්‌ නොව කුසිනාරා, ලුම්බිණි. සැවැත්නුවර, කෝසම්බි, සංකස්‌ස, සාංචි ආදී සියලුම දඹදිව සිද්ධස්‌ථානයන් අද ලෝක බෞද්ධයන් වඳින්නේ පුදන්නේ ධර්මපාලතුමාගේ අප්‍රතිහත උත්සාහය හේතුවෙනි. 
 
1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි  විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදි.
දඹදිව  බෞද්ධ, හින්දු සැම දෙනාම විශ්වාස කරන්නේ අනගාරික ධර්මපාලතුමා නොසිටින්නට දඹදිව සිද්ධස්‌ථාන බෞද්ධයන්ට අහිමිවන බවයි. 1920 දී අනගාරික ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිවාස අඩස්‌සියේ වසර හතක්‌ සිරකර තැබූ අවස්‌ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්‌ථානය වූ ශ්‍රී ධර්මරාජික ෙච්තිය විහාරය අද ලෝක උරුමයක්‌ හැටියට නම් කර ඇත.
 
1931 ජූලි 13 වන දින​, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන​, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය​. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට​, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.
 
  බුද්ධගයා ප්‍රශ්නය ධර්මපාලතුමාගේ ජීවිත කාලයේ දී නොවිසඳුනි.

1947 ඉන්දීයාව නිදහස් රාජ්‍යයක් වූ අතර බිහාර් ප්‍රාන්ත රාජ්‍යය බුද්ධගයා පාලන ආඥා පනත් සම්මත කර එමගින් හින්දුන් සතර දෙනෙක් ද, බෞද්ධයන් සතර දෙනෙක් ද සහිත ගයා දිස්ත්‍රික්කයේ ආදායම් පාලක (Gaya Collector)  සභාපති වශයෙන් නිර්මාණය කර එම ආඥා පනත 1948 සිට මේ දක්වා ක්‍රියාත්මක වේ. බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය​.  

ඔහු ගේ අභාවයෙන් පසුව​, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනත සම්මත විය​.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර 800 ක පමණ කාලයක්‌ ඉන්දියාවේ බෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන යළිත් බෞද්ධයන්ගේ උරුමයට නතුකර දෙමින්ද  බුදු දහම ලෝක පූජිත කිරීම අරභයා දිවිහිමියෙන් කටයුතු කරමින්ද වසර 56 ක තරම් කාලයක්‌ ජාත්‍යන්තර ශාසනික උත්තම මෙහෙවරක්‌ ඉටු කළ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා 1933 අප්‍රේල් මස 29 දා බරණැස සාරානාත්හිදී නව මූලගන්ධ කුටි විහාරය දෙසම දෙනෙත් හෙලා එළඹගත් සිහියෙන් යුක්‌තව අපවත් වූහ. 
 
එවන් යුග පුරුෂයන් විසින් ඉතාමත් කැපවීමෙන් ආරක්‌ෂා කළ සම්බුදු ශාසනය සිය පන මෙන් රකිමින් එහි චිර ජීවනය උදෙසා කැපවීම තරම් අගනා උපහාරයක්‌ තවත් මෙ දියත අපට තිබිය නොහැකිය.
 
ශ්රී දේහය ආදාහනය සාරානාත්හි සිදු කරන ලදී.  භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදි. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදි.
 

මූලගණ්ධකුටිවිහාරය

Image

තථාගථයන් වහන්සේ පළමු වස් කාලය වැඩ සිටියේ බරණැස ඉසිපතනයේ ය. යස කුල පුතුගේ දෙමාපියන් ගස්වල කොළ පරණ තණ කොල ආදිය උපයෝගී කරගෙන සාදන ලද මුල්ම කුටියේ පළමු වස් කාලය බුදුන් වහන්සේ ගත කලා. ධර්මාශෝක රජ තුමා විසින් මේ කුටිය විශාල කොට මූල ගණ්ධ කුටි විහාරය කරවූහ. අද මේ විහාරයේ නටඹුන් ඔබට දැකිය හැකිය. විශාල කුළුණු ලෙස කොටසක් ඇත. මෙහි අදත් සියල්ලෝම පුද පූජා පවත්වති.

 

නව මූලගන්ධ කුටි විහාරය:-

ImageImage
මහා බෝධි සමාගමේ සමාරම්භක බෝධිසත්ව ගුනෝපේත අනගාරික ධර්මපාල තුමාගේ ජීවිත ගමනේ සැබෑවූ සිහිනය නව මූලගන්ධ කුටි විහාරය යි.

 
පුරා විද්‍යා කැනීම් වලින් මතු කරගත් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට මේ විහාරය සාදවන ලදී. 1931 නොවැම්බර් 11 දා සාදා නිමකර කාර්තික් පූර්ණිමා දිනයේදී විවෘත කරන ලදී. සෑම වසරකම අලි ඇතුන් සහිත පෙරහැරකින් වීදි සංචාරය කර යලි පෙර සේම තිබුන ලෙස ධාතු කරඬුව තැන්පත් කරනු ලැබේ. මේ ධාතු කරඬුව ඉතාම ආරක්ෂා සහිතව තබා ඇත. එය විවෘත කිරීමට ඉන්දීය මහා බෝධී සමාගමේ ලේකම්  හිමියන් ගේත්, භාණ්ඩාගාරික තුමාගේත්, සාරානාථ මහා බෝධි මධ්‍යස්ථානාධිපති හිමියන් ගේත් සහාභාගිත්වය අනිවාර්‍යය වේ.
සාරානාථ මහා බෝධි සමාගමේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා සෑම දවසකම නොවරදවාම සන්ධ්‍යා කාලයේ 7.00 ට මූලගන්ධ කුටි විහාරයේ ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශණා කරනු ලැබේ. මේ අසිරිමත් දේශනාව ට ඔබ සවන් දෙන්න. එය ඔබට මේ ජීවිතයේ ලැබෙන භාග්‍යම සම්පන්න මොහොතක් වනු ඇත. සියළු දෙනා එකම හඬින් දම්සක් සූත්‍රය කියන විට ලැබෙන සැනසුම! සිත සිතා ප්‍රීතී වෙමි.

 

සාරනාත් බුදුපිළිමය:-

 
චුනාර් නමි ගල් විශේෂයකින ගුප්ත යුගයේ කල  නිර්මාණයක්. රැස්වළල්ල ලස්සන කැටයමි වලින් යුක්තයි යට කොටසෙ පස්වග මහණුන් පිරිත් නුල අතේ රදවාගෙන ඉන්න ආකාරයක් නිර්මාණය කරල තියෙනව. දෙනෙත් අඩවන්වි තොල්දෙක තෙත් ගතියෙන් යුක්තව ධම්ම චක්ක සුත්රය දේශනා කරන ආකාරය පෙන්නුම් කරනව. තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇගට ඇලුණ  සිවුරයි.  කොපමණ වේලාවක් එම පිළිම වහන්සේ දෙස බලා සිටියද සෑහීමකට පත්විය නොහැකි බවක් මට හැගේ. එය ඉතාම රමණීය වූ රන් පිළිම වහන්සේ නමකි.  විහාරයේ මනරම් බුදු පිළිමයත් සමඟම  දර්ශණීය චිත්ර කර්මත් ඔබ නෙත් සිත් පැහැර  ගනීවී.  ජපන් ජාතික කොට්සුනෝසු නම් ලෝක ප්රසිද්ධ චිත්ර ශිල්පියා විසින් ස්වභාවික ගල්කුඩු, මල් , කොළ, පොතු ආදියෙහි වර්ණ සංකලනයෙන් ඉතාම සෞම්ය වර්ණ භාවිතයෙන් බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි නිරූපණය වෙන ලෙස අඳිනා ලද සිතුවම් ඉතාම අලංකාර ය.
 
Image
 ඉසිපතන මිග දායේ සම්පූර්ණ භූමි භාගය අක්කර 900ක් පමණ වේ. . දෙසැටක් මිත්‍යාදෘශ්ඨික ආගම් අතර 63 වන ආගම ලෙස ඉන්දියාවෙ බෞද්ධ ආගම ඇති වූ බව කියවේ.   
 
සාරානාත් කෞතුකාගාරයේ සාරානාත් කෞතුගාරයේ සිංහ මුහුණු තුනක් සහිත අශෝක ස්තම්භය ද , ශිලා ලේඛණය ද සුරක්ෂිතව ඇත.  මුල් සාරානාත් බුදුපිළිම වහන්සේත්,  ශිව , පාර්වතී, විෂ්ණු ආදී හින්දු ප්‍රතිමාත් මෙහි තැන්පත් කර තිබේ. බොහොමයක් බෞද්ධ මෙන්ම හින්දු ශිෂ්ඨාචාර නටඹුන් මෙහි දැකිය හැකිය. පැරණි වළං, සත්ව රූප, ආභරණ, පබළු ඇට ආදී බොහෝ දේ සංරක්ෂිතව ඇත. ජෙනරාල් කනිං හැම් තුමා සොයා ගත් පුරා විද්‍යා වස්තු මෙහි තැන්පත් කර ඇත.
ඔබ දන්නවාද ඉසිපතන මිගදාය ” අවිජහිත ” පුණ්‍ය භූමියක් බව. ඒ කියන්නෙ ලොව පහළ වෙන  සෑම බුදුවරයෙක්ම අත් නොහරින භූමියක් කියන එකයි. මේ තාක් ලොව පහළවූ හා පහළවෙන්නාවූ සෑම බුදු වරයෙක්ම ස්පර්ෂ කරන්නාවු සුවිශේෂ ස්ථාන හතරක් තියෙනවා. 
ඒ නම් 1. බුද්ධගයාව 2. ඉසිපතනය 3. සැවැත් නුවර 4. සංකස්සපුරය යයි. ඉතින් මේ ඉසිපතනය “අවිජහිත භූමියක් “නිසා සුවිශේෂයි.
ඉසිපතනමිගදායවන්දනාගාථාව.
 
සං කම්පයං දස සහස්සිය ලෝක ධාතුං
දේසේසි යත්‍ර භගවා වර ධම්ම චක්කං
බාරාණසී පුර සමීප වනේ මිගානං
තං ධම්ම චේතිය මහං සිරසා නමාමී
 
බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ හිඳ දස දහසක් ලෝක ධාතුව කම්පා කරමින් උතුම් වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක් ද බරණැස් නුවර සමීපයේ මිගදාය උයනෙහි ඉසිපතනාරාමයෙහි ඇති ඒ ධර්ම චෛත්‍යය මම සිරසින් නමස්කාර කරමි.
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ලක්දිව බුදු සසුන පිහිටුවා වදාල පසුව ලංකාවට රැගෙන ආ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව සිහිවීම සඳහාත් , දඹදිවින් ගත් ණය ආපසු ගෙවීමක් ලෙසත් සලකා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක්  1931 නොවැම්බර් 11 වනදා රෝපණය කරන ලදී. එකී බෝධීන් වහන්සේ ද පුද සත්කාර ලබමින් එහි වැඩ වෙසෙති.
Image

*** අද 2012 නොවැම්බර් 11 වන දිනම මෙම සටහන මට තබන්නට සිදු වීම දෛවයේ හාස්කමක් දැයි මට සිතේ. අදට මේ මූලගන්ධ කුටි විහාරය තනවා අවුරුදු අසූ එකක් පිරේ.   සාදූ!   සාදූ!!   සාදූ!!!

මෛත්‍රී බුද්ධ විහාරය යෙහි තනි සුදු ගලෙන් නෙළු ගෞතම හා මෛත්‍රී බුද්ධ ප්‍රතිමා දෙකක්  ඇත.
 සිරි දේවමිත්ත හිමියන් අවසන් කාලය ගත කල ස්ථානය මෙයයි. මෙහිදී අපට පැලවත්තේ සීවලී හිමියන් විසින් (මහා බෝධි භාරකාර මණ්ඩලයේ ලේඛකාධිකාරී ) ධර්ම දේශනාවක් කරන ලදී.  
අද මෙහි මහාබොධි සමාගමේ වැඩ වාසය කරන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ගෙන් සිදුවන මෙහෙය කියා නිම කල නොහැක.  උන්වහන්සේලා බොහෝ දුක්, කරදර ,පීඩා විඳිමින් අප උදෙසා විශාල කාර්යය භාරයක් ඉටුකරති. අප හට ඒ ස්ථාන වල වැදගත් කම කියා දීම ද , දානාමාන ආදිය ඉටුකර ගැනීම සඳහා අවශ්‍යය කටයුතු සම්පාදනය ද , සෙත් පිරිත් සජ්ඣායනා  කිරීම ද බොහෝ ඕනෑ කමින් සොයා බලා කටයුතු කරයි. ඒ ස්වාමීන් වහන්සේලා පතනා බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා!යි ඉත සිතින්ම පතමි. 

පහත මාලයෙහි සාරානාථ මහා බෝධි සමාගම් කාර්‍යාලය හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ කෞතුකාගාරය පිහිටා ඇත.
ඉසිපතන මිගදායේ දිනය නිමා වූයේ දම්සක් පැවතුම් සූත්‍රය  සජ්ඣායනා කිරීමෙන් පසුවය. මේ සුන්දර දිනය ජීවිතයේ  මා මිය යන තෙක් සදා මතකයේ රැඳේවා!
මගේ සිතට දැනුන දේ කවියට නැගූවෙමි.

 
උදෑසනම හිරු එළියේ
මිගදායට අපි ආවා
සාදු සාදු සාදු කියා
බුදු පෙරහැර පේළි සදා
 
පස්වග මහණුන් උදෙසා
දෙසූ දහම් පද සිහිවී
නෙතු කඳුළින් පිරී ගියා
අප සිටියේ කොහිද කියා
 
බුදු හිමි පා පහස ලබා
තිබු මේ පින් බිම මහිමේ
පය තබනා හැම මොහොතෙම
දෙපා මගේ සිසිල් කලා
 
දම්සක් සුතුරේ බලයෙන්
නිදුක් නිරෝගී වේවා
යනෙනා සැම මේ දඹදිව
නිති දෙවියන් රැක දේවා
 
 
 අපහට මෙම විස්තර අපගේ හද මඬලට කිදා බහිනා ලෙස ගිනි අව්වේ ඇවිද යමින් කියා දුන්නේ සාරානාත් මහා බෝධි විහාරවාසී විමලරතන ස්වාමීන් වහන්සේ විසිනි . උන්වහන්සේට බැති සිතින් පුන්‍යාණුමෝදනා කරමි.

 
 

  පහන් සිතින්ම නින්දට ගියෙමි. 

විශේෂ ස්තූතිය බෙස්ට් ලයිෆ් ආයතනයේ අජිත් ක්‍රිශාන්ත මහතාට සහ කීර්ති පුතාට.

මීළඟට……… කාන්පූර්    දක්වා දිගු ගමන.

 
Advertisements

3 responses to “බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා 3 – ඉසිපතනේ මිගදායේ ඔබට තවත් තොරතුරු බිඳක නිමාව.

  1. අනගාරික ධර්මපාල පරමවිඥානවාදීන් එක්ක එකතුවෙලා ථෙරවාද බුද්ධාගමට නව පණක් ලබා දුන්නු බවේ වැදගත්කම අවතක්සේරු කරන්නේ නැහැ. එතෙක් ලෝකයේ ම බෞද්ධ ස්වාමීන්වහන්සේලාට පමණක් සීමා වී තිබූ ත්‍රිපිටක හැදැරීමට අවස්ථාවක් පරමවිඥානවාදීන්ගේ මූලිකත්වයෙන් සමාජයේ හැම දෙනාටම ලැබීමත් අගය කළ යුත්තක්. පරමවිඥානවාදීන්ගේ වෑයම නිසා ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්තනය වීම බුද්ධාගම ලොව පැතිරිලා යන්නට සෑහෙන්න දායක වූනා. ඒත් එහෙම ඉස්සහරට යන්න තැබූ පියවරෙන් පසු අන්ධකාරයට ආපස්සට ගෙනි යන්නට ද කටයුතු කළේ අනගාරික ධර්මපාල විසින්ම යැයි ඉතිහාසයෙන් දැන ගන්නට ලැබීම කණගාටුවට කරුණක් චාන්දි අක්කා. මොකද අනගාරික ධර්මපාල විසින් මූලිකත්වය ගෙන බෞද්ධ චින්තනයට පටහැනි වූ ද්වේශයක් පැතිර වීම නිසා එන සිංහල පමණක් වූ භාෂා පනත් වලින් අවසානයේ සිංහල බෞද්ධයාම තමයි ආපස්සට ගියේ.

    Like

  2. ඒක නම් සහතික ඇත්ත අරුණි නංගී. අදටත් බෞද්ධ පොත් පත් විජාතිකයින්ට කියවන්නට ඉංග්‍රීසියට පෙරලී ඇත්තෙ බොහොම සීමිත ප්‍රමාණයක්. ඒ ගැන නම් මටත් ඇත්තේ ලොකු කනගාටුවක්. මගේ පවුලේම ,මගෙම නංගී ,ආගම වැළඳ ගත්තේ මේ අඩුපාඩුව නිසාමයි කියල මටත් හිතෙනවා. එයාට පිටරටම හැදුන නිසා බෞද්ධාගමේ හරය වටහා ගන්නට බැරි වෙන්න ඇති. කියවන්නට තෙරුම් ගන්න පුලුවන් විදිහෙ සරල පොත් පත් නැතිකම ලොකුම අඩුවක්. බෞද්ධ ආගම බලෙන් කෙනෙක්ට දෙන්න බැහැනෙ. බල කරන්නත් බැහැ නෙ. ඒක එකිනකා විසින්ම තමන් විසින්ම අවබෝධ කරගත යුතු දහමක් නෙ. මම බෞද්ධයි , අම්මා තාත්තා බෞද්ධයි කියල අපි එයාට බලපෑම් කලේ නැහැ. මොකද ? එයාගෙ අනවබෝධය නිසා එයා මහත්තයා සමඟින්ම ආගම වැළඳ ගත්තෙ එයාට අවබෝධය ගන්න පසුබිමක් එයා හිටිය රටේ නොතිබුන නිසා. ඒකට මූලිකවම බල පෑවෙ මේ දැනුම අබබෝධය ලබාගන්න නොලැබීම. එයා විශ්ව විද්‍යාල කතිකාචාර්‍ය වරියක් වෙලත් එහෙම උනෙ මේ අඩුපාඩුව නිසාමයි. අපි පසු බැසීමේ විපාකෙ නේද?

    Like

  3. අපේ මෝඩකම් වල සීමාවක් නැහැ!!!!

    එදා සුද්දෝ ගිහින් ත්‍රිපිටකය ඉංග්‍රීසියට හරවලා ඉගෙන ගත්ත. ඒත් අද අය ඉංග්‍රීසියෙන් වැඩියෙන් ඉගෙන ගන්නෙ ටිබෙටන් බුදු දහම. වැඩියෙන් එකතු වෙන්නෙ ටිබෙටන් ධර්මයට. මොකද වැඩියෙන් විස්තර හොයාගත හැකියාව ඒ ගැන නිසා. ථෙරවාද බුදු දහම දන්න අය අඩුයි.

    අපේ අය සිංහල විකිපීඩියාවේ මෙහෙම ලියනවා: “බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු,”
    http://si.wikipedia.org/wiki/බුදු_දහම
    http://si.wikipedia.org/wiki/නිවන
    http://si.wikipedia.org/wiki/දුක්ඛ

    හේතුවක් හැටියට දීලා තියෙන්නෙ පහසුවෙන් වෙනස් කළ හැකි නිසා කියල. එහි අගය එම වෙනස් කරත හැකි බවයි. ඒ කියන්නෙ අයෙක් වැරදි යමක් ලියා ඇත්නම් නිවැරදි බව සාධක දක්වා පෙන්වන අයට නිවැරදි කරත හැකි හැකියාව. හැබැයි සිංහල විකිපීඩියාවේ සිංහල ගතිය නිසා ඒකත් අතාර්කික මතවාදයෙන් පිරුණක්. වගකීම හා අවංක බව යන්න බුදු දහමේ ඉහළ අගයකින් යුතු වූ අදහස් වුනාට එසේ වැඩ කරන අය නොව ලංකාවේ වැඩියෙන් ඉන්නේ තම තම පුද්ගලික මතයන් පස්සේ යන අය නිසා විකිපීඩියාව වැඩ කරන්නේ කෙසේදැයි අවබෝධය ඇති අය එතැනත් අඩුයි.

    විකිපීඩියාවේ අගය නම් ලෝකයේ ඕනෑම කෙනෙකුට එයින් තොරතුරු දැනගත හැකියාව.

    අපි පහසුවෙන් සොයාගත හැකි පරිද්දෙන් බුද්ධාගම ගැන ලොවට තොරතුරු කියනවා වෙනුවට, ඒ ඒ අය කියන දේවල් ගැන සාකච්ඡා කර තෝරා බේරාගන්නට ඉඩක් සලසනවා වෙනුවට, පැති බෙදිලා එකිනෙකාට කෙනහිලිකම් කරගනිමින් බුද්ධාගමට පටහැනි ලෙසින් කටයුතු කරනවා.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s